• (+94) 452285033
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kalthota Rohana M.V.

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Kalthota Rohana M.V.

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

බළන්ගොඩ නගරයේ සිට දියවින්න දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 30ක් පමණ පසුකළ විට කඳු වළල්ලකින් වට වී ඇති “කල්තොට” නැමැති සුන්තර ඓතිහාසික ගම්මානය හමුවේ. මීට වසර පනහකට පමණ පෙරාතුව මෙහි ජන සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පැවත ඇත. එකල වගවලසුන්ගෙන් පිරී ඇති දුෂ්කර ගම්මානයක්ව පැවැති මෙහි පැරනිතම පන්සල වූ කල්තොට ශ්‍රී ජිනේන්ද්‍රාරාමයෙහි විහාරාධිපති අතිපූජ්‍ය දෙනගම ශ්‍රී මේධානන්ද ස්වාමීන්වහන්සේ කල්තොට පාසලේ නිර්මාර්තෘවරයා ලෙස සැලකේ.

            එකල බෙල්ලන්ගල කන්දෙන් මෙපිට වෙනත් පාඨශාලාවක් නොවූයෙන් ප්‍රදේශයේ දරුවන්ගේ අභිවෘද්ධිය තකා ඇලඋඩලන්ද ප්‍රදේශයේ පොල් අතු මඩුවක මෙම පාසල ඇරඹූ බව ජනවහරේ පැවත එයි.

            වර්ෂ 1939.05.04 දින කල්තොට මිශ්‍ර පාසල නමින් මෙම පාසල ඇරඹි බව ලේඛනවල සඳහන් වේ. මෙහි ප්‍රථම විදුහල්පති ලෙස සැලකෙන්නේ ඩී.ආර්. කුරුප්පු මහතා ය. පළමු ආදි සිසුවා වූයේ ඩී.පී.එම්. කරුණාරත්න මහතා ය.

            එකල විදුහල්පතිවරයා නිවාඩුව සඳහා ගමින් බැහැරවන විට පාසලේ බඩුබාහිරාදිය ගමේ ආරච්චි තැනට භාරදුන් බව ලිභිත වාර්තාවල සඳහන් වේ. මේ කාලයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 30 කි. 1940.07.01 දින ඩී. ආර්. කුරුප්පු මහතා බලගල්ල මිශ්‍ර පාසලට ස්ථානමාරුවක් ලැබ ගොස් ඇති අතර කල්තොට පාසලේ වැඩ බැලීම සඳහා කේ. පීරිස් සිංඤෝ මහතා පත්කර ඇත.

මෙතුමාගේ කාලයේ ඇති වූ මහා ගංවතුර හානිය නිසා පාසල දින කිහිපයක් නොපැවැත්වූ බව ද වාර්තාවල සඳහන් වේ. ඉන්පසු 1941.09.01 වන දින ඩී.එම්. වීරකෝන් මහතා මෙහි වැඩ බාරගෙන ඇති අතර ඔහුට මැලේරියා උණ වැළඳීම නිසා බොහෝ අවස්තාවල පාසල වසා දමන්නට සිදු වූ බව ද සඳහන් වේ.

            ඉන්පසු විදුහල්පති වූ එම්. අමාරිස් අප්පු මහතා 1942.10.02 දින ටී.බී. මුදලිහාමි මහතාට පාසලේ වැඩ බාරදී ඇත. 1948 දී අධ්‍යාපන පරිපාලන නිලධාරීතුමා විසින් ගමෙහි නිවෙස්වල ඇවිද පාසලට ළමුන් එවන ලෙස දෙමාපියන් දැනුවත් කිරීම බොහෝ අවස්ථාවල සිදුව ඇත. 1949 වසර වනවිට පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 29 වී ඇත.

            1954.05.01 දින ඩී.ජේ. පල්ලෙවෙල මහතා පාසලේ විදුහල්පති ධූරයේ වැඩ බාරගෙන ඇති අතර එතුමාගේ විශ්‍රාම යාමෙන් පසු පාසල බාරගෙන ඇත්තේ ජේ.ආර්. ඥාණසේකර මහතා ය.

            1956.01.03 දින ඩබ්ලිව්. එම්.කේ. බණ්ඩා මහතා මුල් ගුරුතුමා ලෙස වැඩ බාරගෙන ඇති අතර මෙකල පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 101 දක්වා වර්ධනය වී ඇති බවක් දක්නට ලැබෙයි. 1957.05.05 දින කල්තොට පාසලේ විදුහල්පති ලෙස එච්.ඒ. දැල්විටිය මහතා වැඩ බාරගෙන ඇති අතර 1958.01.01 දින විදුහල්පති ලෙස යූ.ආර්. මැන්ඩිස් මහතා පැමිණ ඇත. 1958.09.08 වන දින කල්තොට රජයේ විද්‍යාලය ලෙස නම්කර ඇති අතර ගුරු මණ්ඩලයේ ආචාර්යවරු තිදෙනෙක් ද ශිෂ්‍ය සංඛ්‍යාව 115 ක් ද වී ඇත.

 

                  1959.02.03 දින සිට පාසලේ විදුහල්පති ධූරය හොබවා ඇත්තේ එල්. එම්. පෙරේරා මහතා ය. 1959.05.10 වන දින වැඩබලන විදුහල්පති ලෙස පාසලට පැමිණි ඩබ්ලිව්. එච්. පුංචිමහත්මයා මහතා පාසල වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කර ඇති බව දක්නට ලැබේ. මෙතුමා පාසලට පැමිණෙන කාලයේ ගොම ගාන ලද 30x20 ගොඩනැගිල්ල පමණක් පාසල සතුව තිබූ අතර පාසලට පැමිණීමට කල්තොට වාරි ඇල හරහා යොදා තිබුණේ ලී ඒ දණ්ඩක් බව ලේඛනවල සඳහන් වේ. එතුමා මුල් වී ඇල හරහා ස්ථීර කොන්ක්‍රීට් පාලමක් වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙන් පාසලට ලබා ගැනීමට සමත් විය. (අදටත් භාවිතා කරන්නේ මෙම පාලම යි.) 30x20 ගොඩනැගිල්ලේ බිම කොන්ක්‍රීට් දමා ගැනීමට ද, 1961 වසරේ දී තවත් 30ං20 ගොඩනැගිල්ලක් පාසලට ලබා ගැනීමට ද එතුමා මැදිහත් වී ඇත. මෙම පාසලේ වසර 11 ක පමණ සේවයෙන් ඩබ්ලිව්.එච්. පුංචි මහත්මයා මහතා විශ්‍රාම යාමත් සමග 1970.12.31 දින ජී.එම්. අබේරත්න මහතාට පාසලේ වැඩ බාර දී ඇත.

            1974.11.07 දින එම්. ජයතිලක මහතා විදුහල්පති ධූරයට පැමිණ ඇත. 1977.02.07 දින සිට පාසලේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ ජී.බී. ඇරෑපෝරුව මහතා ය. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 22 ක් ද, ගුරු මණ්ඩලය 07 ක් ද වූ මේ කාලයේ පාසල ජා.උ.අ.ස. (10ශ්‍රේණි) ඇරඹීම මගින් උසස් පාසලක් කිරීම සිදුව ඇත. 1977.08.08 දින පාසලේ ඉඩකඩ මදිවීම නිසා ප්‍රාථමික අංශය අසල පිහිටි ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයට ගෙනයන ලදි.

            1978.05.18 දින එම්. එම්. නවරත්න බණ්ඩාර මහතා විදුහල්පති ධූරයට පැමිණ ඇත. 1978.07.17 දින මෙම පාසලට 60x20 ගොඩනැගිල්ලක් අනුමත වී ඇත. 1978.11.18 දින වයි. එස්. බණ්ඩාර මහතා විසින් බාලදක්‍ෂ කණ්ඩායමක් ආරම්භ කර ඇත.

            1990.01.09 දින සිට විදුහල්පති ලෙස කටයුතු කළ ජී. එල්. දයාරත්න මහතා ස්ථානමාරුවක් ලැබ යාම නිසා එම්.එම්. කරුණාරත්න මහතා පැමිණියේ ය. මෙකල පාසල කල්තොට පර්ෂද මූලස්ථ විද්‍යාලය ලෙස නම් කෙරුණු අතර මේ වනවිට අවට පාසල් 06ක් සඳහා     සේවා සැපයීම මෙම විද්‍යාලයෙන් සිදු විය. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වූ ඩබ්ලිව්.කේ.බී.ජේ.එම්. ප්‍රනාන්දු මහත්මිය මේනවවිට පාසලට අනුබද්ධිතව සාක්‍ෂර පන්ති පැවැත්වීම ද සිදුකර ඇත.

            එම්.එම්. කරුණාරත්න විදුහල්පතිතුමා විශ්‍රාම යාමත් සමග 1991.01.25 දින පර්ෂද විදුහල්පති ලෙස පැමිණි එම්.ජී. රණසිංහ මහතා පාසල වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කළේ ය. මෙකල පාසලේ උසස් පෙළ පන්ති ආරම්භ කළ අතර බාල දක්‍ෂ ව්‍යාපාරයට ද      නව පනක් ලැබිණ. පාසල් භූමියේ සෝදාපාළුව වැළැක්වීම සඳහා විධිමත් බැමි ඉදි කළ අතර උදෑසන රැස්වීම ආදී විශේෂ අවස්ථා ක්‍රමවත්ව සංවිධානය විය. මෙතුමාගේ කාලයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් පැවැත්වූ විද්‍යා තාක්‍ෂණ භාණ්ඩ ප්‍රදර්ශනයේ දී සමස්ථ ලංකා      ප්‍රථම ස්ථානය මෙම විද්‍යාලය මගින් ඉදිරිපත් කළ නිර්මාණයකට හිමි වීම විශේෂත්වයකි. තවද 80x20 නව ගොඩනැගිල්ලක් සහ ප්‍රජාවගෙන් එකතුකළ අරමුදලකින් තැනූ පුස්තකාල ගොඩනැගිල්ලක් ද මෙම විද්‍යාලයට අලුතින් එකතු විය. රතු කුරුස සංවිධානයක් ද පාසල        තුළින් ආරම්භ වූ අතර පාසල ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය වීමට හේතු වූ වැදගත් කරුණක් වූයේ මෙකල අංග සම්පූර්ණ ක්‍රිඩා උත්සව ඉතා විචිත්‍ර අයුරින් පැවැත්වීමයි. 1995 දී පළාත් පිහිනුම් තරගාවලියෙන් පළාත් බාලක ශූරතාවය ද පාසලට හිමිවිය. පාසලේ සාම්ප්‍රදායික සීනුව        වෙනුවට බස් ටයර් රිම් එකක් ජනතාසන්තක ප්‍රවාහන සේවයෙන් ලබාගන්නේ 1996 වර්ෂයේ දී ය. 1996.07.05 දින එම්.ජී. රණසිංහ විදුහල්පතිතුමා බ/ වියළුව ඩී.එස්. සේනානායක ජාතික පාසලට ස්ථානමාරු ලැබීම නිසා එතැන් සිට වැඩබලන විදුහල්පති ලෙස ඩී.එස්.කේ.      වන්නි ආරච්චි මහතා කටයුතු කළේය. වර්ෂ 2000 ජූලි මස ඩබ්ලිව්. කමලවංශ මහතා විදුහල්පති වශයෙන් මෙම විද්‍යාලයට පැමිණි අතර එතුමා ර/ කැටලියන්පල්ල විද්‍යාලයට ස්ථානමාරු ලැබ ගිය පසු 2005.10.11 දින සිට විදුහල්පති ධූරයේ වැඩකටයුතු සිදුකරන ලද්දේ          පූජ්‍ය වැලිපත සුමනරතන හිමියන් විසිනි. එකල සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් ද, ප්‍රධාන ශාලාවේ බිතුසිතුවමක් ද කළේ ය. පිරිත් පිංකමක් ද සංවිධානය කළ අතර එය පැවැත්වීමට සිදුවූයේ 2006.02.07 දින සිට වැඩබලන විදුහල්පති ලෙස වැඩ භාරගත් ඩී.එම්. අබයකෝන් මහතාගේ කාලයේ දී ය. මෙකල පාලසට පරිගණක කිහිපයක්, සෙල්ලම් මිදුලක්, ස්ථීර අත්පන්දු පිටියක් ලබාගැනීමට හැකි විය. ඊට අමතරව පාසලට සිංහල භාෂා සාහිත්‍ය තරගාවලියෙන් සමස්ථ ලංකා පදක්කම සහ ජාතික පදක්කම ලබාගැනීමට හැකිවිය. අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 55.55% නැංවීමට ද, පන්තිකාමර වෙන් කිරීමේ බෝඞ් ලබාගැනීමට ද හැකිවිය. 2010 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉහළම සමත් ප්‍රතිශතය ලබමින් ප්‍රථම ස්ථානය මෙම විද්‍යාලයට හිමිවිය. සනීපාරක්‍ෂක පහසුකම් යටතේ අංග සම්පූර්ණ වැසිකිලියක් හා කැසිකිළියක් 2011 වර්ෂයේ දී පාසලට ලබාගැනීමට හැකිවිය. කොළඹ රාජකීය විද්‍යාලය සහ ෑෘෑඞ ආයතනය සම්බන්ධ වී පුස්තකාලයට පුටු 15ක් හා වටිනා පොත් රාශියක් ලබා ගැනීමට ද මෙම කාලය තුළ දී හැකිවිය. 2014 වර්ෂයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ලබාගනිමින් විද්‍යාලයේ ප්‍රධාන ශාලාව සම්පූර්ණ අලුත්වැඩියාවක් කිරීමට හැකිවිය.

            2014.11.20 දින සිට ඩී. එම්. අබයකෝන් මහතා ර/ තන්ජන්තැන්න විද්‍යාලයට ස්ථානමාරුවක් ලබාගත් අතර එතැන් සිට ඩී.එම්.පී. සනත් ධර්මරාජ මහතා විදුහල්පති තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. 2014.11.20 දින රාජකාරි කටයුතු ආරම්භ කළ මෙතුමා තම සේවා කාලය තුළ ගුරුවරු 18 දෙනෙක් ද, ශිෂ්‍ය සංඛ්‍යාව 125 ක් ද, අනධ්‍යයන කාර්යමණ්ඩලය 03 දෙනෙක් ද දක්වා මානව සම්පත වැඩි දියුණු කර ගැනීමට සමත් විය. සමස්ත ලංකා, පළාත්, කලාප, කොට්ඨාස වශයෙන් ක්‍රීඩා, සෞන්දර්ය, සිංහල සාහිත්‍ය ජයග්‍රහණ ලබා ගැනීමට විද්‍යාලය සමත් වූ අතර ඵල සපිරි පාසල් ඇගයීමේ වැඩසටහනේ දී සම්මාන හා කුසලතා සහතික ලබා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි. තවද විද්‍යාලයට අන්තර්ජාල පහසුකම ලබා ගැනීම, පරිගණක යන්ත්‍ර 05ක් ලබා ගැනීම, සංගීත උපකරණ, විද්‍යා උපකරණ, ක්‍රීඩා උපකරණ, ඩෙස් පුටු ආදී වශයෙන් පාසලේ භෞතික සම්පත් වැඩි දියුණු කරගැනීමට ද සමත් විය. ඒමෙන්ම නොමිලේ ලබාදෙන පාසල් පාවහන් ලබා ගැනීම සදහා මෙම විද්‍යාලයේ දරුවන්ට අවස්ථාව හිමි වීම ද, වැසිකිළි පද්ධති දෙකක් අලුතින් ලබා ගැනීම ද, සෝදාපාලුව වැළැක්වීම සදහා පැති බැමි ඉදිකිරීම ද, 90x20 ගොඩනැගිල්ල පිළිසකර කිරීම ද, අනෙකුත් සියලුම ගොඩනැගිලිවල සුළු අලුත්වැඩියාවන් සිදු කිරීම ද ආදී වශයෙන් ප්‍රජා සහභාගීත්වය ද ලබා ගනිමින් මහත් වැඩ කොටසක් සදහා දායකත්වය ලබාදුන් මෙතුමා පාසල් කාර්යාල කළමනාකරණය ද මැනවින් ඉටුකරන ලදි. මෙතුමා වසර 05 ක් සහ මාස 09 ක විදුහල්පති සේවා කාලයෙන් ද සිය රාජකාරි දිවියෙන් ද 2020.08.01 දින සමු ගන්නා ලදි.

            මෙතුමාගේ කාලයේ දී විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිව විසූ පූජ්‍ය වැලිපත සුමනරතන හිමි ඉන්පසු මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ භාරගත් අතර මේ දක්වා විද්‍යාලයේ නියමුවා වශයෙන් කටයුතු කරන්නේ උන්වහසේ ය.

 

ආරම්භ කළ වර්ෂය

1939.මැයි.04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

30

මුල් ගුරුතුමාගේ නම

ඩී.ආර්. කුරුප්පු මහතා

පාසලේ ආදි කතෘගේ නම

දෙනගම මේධානන්ද හිමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කල්තොට මිශ්‍ර පාසල

පාසල රජයට පවරාගත් දිනය

1958.සැප්තැම්බර්.8

පාසල පැවැත්වූ ස්ථානය

කල්තොට පන්සල අසල පොල් අතු සෙවිලි කළ මඩුවක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩී.පී.එම්. කරුණාරත්න

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1939 මැයි 04 දින

 

Kalthota Rohana M.V.

ර/බල/කල්තොට රෝහණ විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Kalthota,Balangoda
  • දුරකථන (+94) 452285033
  • වට්ස්ඇප් (+94) 712505980

Supported By

© 2026 Kalthota Rohana M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk